පානම කුඩිම්බිගල ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ විසූ විදේශීය භික්ෂූන් වහන්සේ නමක් කොටියකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් අද (2026 මාර්තු 26) අලුයම අපවත් වී ඇති බව පානම පොලිසිය තහවුරු කරයි. මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ 43 හැවිරිදි වියේ පසුවූ විදේශීය හිමිනමකි.
පානම නගරයේ සිට කිලෝමීටර් නවයක් පමණ දුරින් ඝන වනාන්තරය තුළ පිහිටි මෙම ඓතිහාසික ආරණ්‍ය සේනාසනය තුළ දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා රැසක් භාවනානුයෝගීව වැඩ වසති. වන සතුන් බහුල මෙම කලාපයේදී උන්වහන්සේ වැඩසිටි කුටිය ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සැක කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් සහ පානම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, ප්‍රදේශයේ වන සතුන්ගෙන් එල්ල වන තර්ජන පිළිබඳව ආරණ්‍ය සේනාසනයේ වැඩවසන සෙසු භික්ෂූන් වහන්සේලා දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.












