ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ප්‍රමුඛතම ඇමරිකානු බැංකුවක් වන ගෝල්ඩ්මන් සැක්ස් ආයතනයේ කාර්යාල සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන තිබේ. ඉරාන හිතවාදී කණ්ඩායමක් විසින් පැරිස් නුවර පිහිටි ඇමරිකානු බැංකු ඉලක්ක කරගනිමින් පුපුරණ ද්‍රව්‍ය යොදා ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පවතින බවට ඇමරිකානු බුද්ධි අංශ ලබා දුන් අනතුරු ඇඟවීමකට අනුව මෙම පියවර ගෙන ඇත. මීට දින කිහිපයකට පෙර ‘බෑන්ක් ඔෆ් ඇමරිකා’ (Bank of America) ශාඛාවකට එල්ල කිරීමට ගිය ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට ද ආරක්ෂක අංශ සමත් විය.
පවතින අවදානම් තත්ත්වය හමුවේ පැරිස් කාර්යාලයේ සේවකයින්ට නිවසේ සිට රාජකාරි කිරීමට (Work remotely) අවසර ලබා දී ඇති බව ගෝල්ඩ්මන් සැක්ස් ආයතනයේ ප්රකාශිකාවක් ඒඑෆ්පී (AFP) පුවත් සේවයට තහවුරු කළාය. සේවකයින්ගේ ආරක්ෂාව තමන්ගේ ප්‍රධානතම ප්‍රමුඛතාවය බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් එම ආයතනය පවසයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ප්‍රංශය සෘජු ඉලක්කයක් නොවූවත්, ප්‍රංශය තුළ පිහිටි ඇමරිකානු සහ ඊශ්‍රායල දේපළවලට ප්‍රහාර එල්ල වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව ප්‍රංශ ආරක්ෂක අංශ ද විශ්වාස කරති. මේ වන විට පැරිස් නුවර ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථාන අවට ආරක්ෂාව උපරිම මට්ටමකට නංවා ඇති අතර සැකකටයුතු පුද්ගලයින් පිළිබඳව දැඩි සෝදිසියෙන් පසුවන ලෙස පොලිසියට උපදෙස් දී ඇත.














