විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, එහිදී විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රධාන ව්‍යවස්ථාපිත ආයතන හතරක වාර්ෂික වාර්තා සලකා බලන ලදී. කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව, ජාතික විද්‍යා පදනම සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය යන ආයතනවල 2022 සහ 2023 වර්ෂවලට අදාළ වාර්තා සමාලෝචනයට ලක් විය.
මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ ග්‍රාමීය මට්ටමින් නව නිපැයුම්කරුවන් හඳුනාගෙන ඔවුන් දිරිමත් කිරීම සඳහා වඩාත් ශක්තිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි. විශේෂයෙන්ම නව නිපැයුම්කරුවන් සඳහා වන ජනාධිපති සම්මාන උළෙල ප්‍රමාද වීම සහ විගණන වාර්තාවල සඳහන් කරුණු පිළිබඳව ලිඛිත පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස නව නිපැයුම්කරුවන්ගේ කොමිසමට දැනුම් දෙන ලදී. එමෙන්ම ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ පවතින දැඩි කාර්ය මණ්ඩල හිඟය සහ සම්පත් හිඟය පිළිබඳව ද අවධානය යොමු වූ අතර, එම ගැටලු විසඳා ආයතන සමාලෝචනය සඳහා තොරතුරු තාක්ෂණ සහාය ලබා ගැනීමට ද යෝජනා විය.
පර්යේෂණ කටයුතු වාණිජ මට්ටමින් සිදු කිරීමට පවතින නෛතික බාධා ඉවත් කිරීම සඳහා අදාළ පනත් යාවත්කාලීන කිරීමටත්, මෙරට සියලු විද්‍යාගාර පහසුකම් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමටත් කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය. තවද, විද්‍යා තාක්ෂණික උපකරණ ආනයනය කිරීමේදී පවතින රේගු ගැටලු විසඳීමටත්, මැණික් කර්මාන්තය වැනි ක්ෂේත්‍ර නංවාලීමට විද්‍යාත්මක දායකත්වය ලබා ගැනීමටත් මෙහිදී උපදෙස් දෙන ලදී. දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වාර්තා හැර අනෙකුත් ආයතනවල වාර්තා සඳහා කාරක සභාවේ අනුමතිය හිමි විය.















