බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස පැවති මීට පෙර තීරණය අවලංගු වීම හේතුවෙන්, හෙට (අප්‍රේල් 08) පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මීට පෙර බදාදා දිනවල පාර්ලිමේන්තුව රැස් නොවීමට ගෙන තිබූ තීරණය මෙලෙස සංශෝධනය වූ බවයි.
හෙට දින නියමිත කාලසටහනට අනුව පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග යටතේ වන කටයුතු සඳහාත්, පෙරවරු 10.00 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර ඇත. අනතුරුව පෙරවරු 10.30 සිට 11.00 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති අතර, පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරන වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාවට අදාළ විවාදය පැවැත්වීමට නියමිතය.
ලබන 09 වැනි බ්‍රහස්පතින්දා සහ 10 වැනි සිකුරාදා යන දෙදින තුළ පාර්ලිමේන්තු කටයුතු කිසිදු වෙනසකින් තොරව සිදු කෙරෙන බව ද මහලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය. කෙසේ වෙතත්, එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවය හේතුවෙන් අප්‍රේල් මස දෙවන පාර්ලිමේන්තු සතිය නොපැවැත්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.













