පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට සිදුවූ බව කියන ලිංගික අතවර සිද්ධිය පිළිබඳ අවසන් විමර්ශන වාර්තාව අද (04) සභානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් පවත්වන ලද මෙම බාහිර පරීක්ෂණ වාර්තාවට අනුව, අදාළ නිලධාරිනියට කිසිදු ලිංගික අතවරයක් සිදුවී නොමැති බව නිල වශයෙන් නිගමනය කර තිබේ.
මෙම සිදුවීම මුලින්ම පාර්ලිමේන්තුවේදී මතු කරන ලද්දේ 2025 ජනවාරි මාසයේදී මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා විසිනි. ඒ සම්බන්ධයෙන් මුලින් පවත්වන ලද අභ්‍යන්තර පරීක්ෂණයේ ප්‍රතිඵල පිළිබඳව පැමිණිලිකාරිය සෑහීමකට පත් නොවීම හේතුවෙන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව විසින් බාහිර ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී. ඒ අනුව සියලු පාර්ශ්වයන්ගෙන් සාක්ෂි විමසීමෙන් අනතුරුව විනිසුරු අලහප්පෙරුම මහත්මිය මෙම වාර්තාව සකස් කර ඇත.
වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අදාළ දෙපාර්තමේන්තුවේ සේවය කරන වෙනත් කිසිදු කාන්තා නිලධාරිනියක සම්බන්ධයෙන් ද එවැනි ලිංගික හිරිහැර කිරීම් වාර්තා වී නොමැති බවයි. කථානායකවරයා විසින් 2026 පෙබරවාරි මස ගනු ලැබූ තීරණයකට අනුව මෙම වාර්තාව දැන් සභාගත කර ඇති අතර, එහි පිටපතක් මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා තිබේ. මෙම වාර්තාව සභාගත කිරීමත් සමඟ වසරකට අධික කාලයක් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ දැඩි කතාබහට ලක්වූ මෙම මතභේදාත්මක සිදුවීම නිල වශයෙන් අවසන් වී ඇත.














