8 September 2024
#දේශීය

එළැඹෙන 22 සිට 25 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි – සභානායක දිනේෂ්

එළැඹෙන 22 සිට 25 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට අද (17 )රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව තීරණය කළ බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ රෙගුලාසියක් මෙන්ම රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ රෙගුලාසියක් 22 වන අඟහරුවාදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතය.

23 වන බදාදා, දිනය පුරා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන කල්තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතව තිබේ.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට සංශෝධනයක්ද, ගස් හෙළීමේ (පාලන) පනත යටතේ පොල් ගස ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමේ නියෝගයක්ද, 24 වන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. එමෙන්ම, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක් සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝගයක්ද එදින පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

25 වන සිකුරාදා, පසුගිය සමයේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වෙනුවෙන් ශෝක යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *