මෝටර් වාහන පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම කමිටුව මගින් රියදුරු බලපත්‍ර අයභාර නියෝග සංශෝධනය (ගැසට් අංක 2463/04) සහ රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීම (ගැසට් අංක 2467/52) යන නියෝග සඳහා මෙලෙස අනුමතිය ලබා දෙන ලදී. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ එරංග ගුණසේකර යන මහත්වරු ද සහභාගි වූහ.
මෙම රැස්වීමේදී ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා පත් කළ අනුකාරක සභා දෙකක වාර්තා ද ඉදිරිපත් කෙරිණි. නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා විසින් ඉදිරිපත් කළ වාර්තාව මගින් පුද්ගලික බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, ත්‍රීරෝද රථ රියදුරන් සහ ඉලෙක්ට්‍රොනික යෙදවුම් හරහා ප්‍රවාහන සේවා සපයන්නන් (App Base Workers) වෙනුවෙන් EPF සහ ETF දායකත්වය ලබා දීම ඇතුළු වෘත්තීය සුරක්ෂිතතා නිර්දේශ රැසක් ඉදිරිපත් කර තිබේ. මීට අමතරව ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව ව්‍යාපෘති මාදිලි සකස් කිරීමේ වාර්තාව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අතර එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.














