ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුවී ඇති බව කියන අක්‍රමිකතා සහ වත්මන් විදුලි ගාස්තු ව්‍යුහයේ පවතින බරපතල දෝෂ හේතුවෙන් එළඹෙන අගෝස්තු මාසය වන විට මෙරට බලශක්ති අර්බුදයක් මතුවිය හැකි බව සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (18) අනාවරණය කළේය. මහජන උපයෝගිතා කොමිසම (PUCSL) සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ ගල්අඟුරු බලාගාරවලින් බලාපොරොත්තු වූ විදුලි උත්පාදනයෙන් 20%ක් පමණ දැනටමත් අහිමි වී ඇති අතර, මේ හේතුවෙන් ගිගාවට් පැය 275ක විදුලි හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි. මෙම හිඟය පියවා ගැනීම සඳහා අවශ්‍ය වන තෙල් ලීටර් මිලියන 71ක ප්‍රමාණය, පාසල් ප්‍රවාහන සේවා, ලොරි රථ සහ ධීවර යාත්‍රා දින 25ක් පුරා භාවිතා කරන සමස්ත ඉන්ධන ප්‍රමාණයට සමාන වන බැවින් එය රටේ අනෙකුත් ක්ෂේත්‍රවලට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.
වත්මන් බලශක්ති ක්ෂේත්‍රය ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී ඇති බව පවසන රණවක මහතා, ගල්ෆ් කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය නිසා ඉන්ධන සහ ගෑස් ආනයනයට එල්ල වී ඇති බාධා මෙන්ම, රජය විසින් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදුකරන ගල්අඟුරු මිලදී ගැනීම් නිසා ඇතිව තිබෙන කෘතිම අර්බුදය ද මීට හේතු වී ඇති බව අවධාරණය කළේය. විශේෂයෙන්ම අප්‍රේල් 20 වනදායින් පසු ආරම්භ වන වාරකන් කාලය (rough sea season) හේතුවෙන් ගල්අඟුරු ගොඩබෑමට නොහැකි වුවහොත් මෙම තත්ත්වය අගෝස්තු වන විට රට පුරා දැඩි විදුලි කප්පාදුවක් දක්වා වර්ධනය විය හැකි බව ඔහු අනතුරු ඇඟවීය. මීට අමතරව, පවතින විදුලි ගාස්තු ක්‍රමය මගින් අඩුවෙන් විදුලිය භාවිතා කරන පාරිභෝගිකයා මත වැඩි බරක් පටවා ඇති බවත්, එය දූෂණයේ සහ අකාර්යක්ෂමතාවයේ පිරිවැය මහජනතාව මත පැටවීමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සමස්ත අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ වගකීම ජනාධිපතිවරයා විසින් භාරගත යුතු බව පවසන හිටපු මන්ත්‍රීවරයා, නිවැරදි කළමනාකරණ පියවර කඩිනමින් නොගතහොත් ජනතාවට අඳුරේ සිටීමට සිදුවන බව ද පවසා සිටියේය.















