ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ඉතා අඳුරු මොහොතකට ගමන් කරමින් සිටින බවත්, ගල්අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලියේ පවතින දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් ඉදිරි මාස තුන තුළ පමණක් රුපියල් බිලියන 21ක අමතර වැයබරක් ජනතාව මත පැටවීමට සූදානම් වන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. මහජන උපයෝගිතා කොමිසම විසින් පවත්වන ලද විදුලි ගාස්තු සමාලෝචන මහජන අදහස් විමසීමේදී ඒ මහතා මෙම කරුණු අනාවරණය කළේය. රණවක මහතා පෙන්වා දෙන්නේ ගල්අඟුරු මගින් බලාපොරොත්තු වූ විදුලි උත්පාදනය ගිගාවට් පැය 275කින් අඩුවී ඇති බවත්, එම හිඟය පියවා ගැනීමට අමතර තෙල් ලීටර් මිලියන 71ක් අවශ්‍ය වන බවත්ය. මෙය මෙරට සමස්ත ප්‍රවාහන ක්ෂේත්‍රයේ දින 25ක ඩීසල් අවශ්‍යතාවයට සමාන වන අතර මෙම බාල ගල්අඟුරු ගෙන්වීම නිසා පමණක් රුපියල් බිලියන 21ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇත.
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ලබාදීම හරහා “ගල්අඟුරු මාෆියාව” විසින් නැව් 12කින් පමණක් රුපියල් කෝටි 450කට ආසන්න අයුතු ලාභයක් උපයා ඇති බවට රණවක මහතා මෙහිදී චෝදනා කළේය. මෙම වංචාවේ වැයබර පාරිභෝගිකයා මත පැටවීමට කිසිසේත්ම එකඟ විය නොහැකි බව පවසන ඒ මහතා, සත්‍ය උත්පාදන පිරිවැය සහ වංචාවන් නිසා ඇති වූ පිරිවැය වෙන් කොට හඳුනාගත යුතු බව කොමිසමෙන් ඉල්ලා සිටියේය. මීට අමතරව, බාල ගල්අඟුරු දහනය නිසා සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඔක්සයිඩ් වැනි විෂ වායු පිටවීමෙන් කොළඹ අහස්තලය දූෂණය වී ඇති අතර, ඉදිරියේදී අම්ල වැසි සහ විවිධ රෝගාබාධ ඇතිවීමේ බරපතල අවදානමක් පවතින බවටද ඔහු අනතුරු ඇඟවීය.
රජය ක්‍රියාත්මක කරන “ක්‍රෝස් සබ්සිඩි” (Cross Subsidy) විදුලි ගාස්තු ප්‍රතිපත්තිය ද හිටපු අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක් විය. ඒකක 60ට අඩුවෙන් පාවිච්චි කරන පිරිමැස්මෙන් යුත් දුප්පත් ජනතාව මත වැඩි පිරිවැයක් පටවා, ඉහළ පරිභෝජනයක් සහිත පිරිස්වලට සහන සැලසීම බරපතල සමාජ අසාධාරණයක් බව ඔහු පෙන්වා දුන්නේය. දැනටමත් ලක්ෂ දහයකට අධික පිරිසකගේ විදුලිය විසන්ධි වී ඇති පසුබිමක, මෙවැනි “කුබේරවාදී” ප්‍රතිපත්ති පරාජය කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.















