2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වේ. මෙම තරගයේදී විශිෂ්ට පිතිකරණයක නිරත වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සිය අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.
ඔහු සිය අර්ධ ශතකය සඳහා වැය කළේ පන්දු 34ක් පමණක් වන අතර ඊට හතරේ පහර 07ක් ඇතුළත් විය. ලකුණු 53ක වේගවත් ආරම්භක සබඳතාවයකින් පසු ලකුණු 22ක් ලබා සිටි කුසල් ජනිත් පෙරේරා දැවී ගිය අතර, මේ වන විට පැතුම් නිස්සංක සමඟින් කුසල් මෙන්ඩිස් පිටියේ රැඳී සිටියි.
දසවැනි පන්දුවාරය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 86ක් ලබා සිටින අතර, ශ්‍රී ලංකාව දැනටමත් සුපිරි අට වටය සඳහා සුදුසුකම් ලබා ඇති බැවින් මෙම තරගයේ ජයග්‍රහණය කාණ්ඩයේ පෙරමුණ ගැනීමට මෙන්ම ඉදිරි වටය සඳහා ඉහළ මානසිකත්වයකින් යුතුව පිවිසීමට ඉතා වැදගත් වේ.














