පයාගල, මැටියමුල්ල ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වර් වර්ගයේ ගිනිඅවි දෙකක් සහ ජීව උණ්ඩ 10ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (21) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී මොවුන් කොටුකර ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ගිනිඅවිවලට අමතරව අත්විලංගුවක් ද පොලිස් භාරයට ගෙන තිබේ. මොවුන් පයාගල සහ කලගෙඩිහේන යන ප්‍රදේශවල පදිංචි 55 සහ 61 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය තහවුරු කරයි. මෙම ගිනිඅවි කිසියම් සංවිධානාත්මක අපරාධයක් සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබුණේ ද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














