2026 T20 ලෝක කුසලාන තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව වටයට හෝ සුදුසුකම් ලැබීමට අපොහොසත් වෙමින් පාකිස්ථාන ක්‍රිකට් ලෝලීන් දැඩි කලකිරීමට පත් කළ සංචිතයේ සියලුම ක්‍රීඩකයන්ට පකිස්ථාන ක්‍රිකට් ආයතනය (PCB) විසින් රුපියල් මිලියන 5ක (ලක්ෂ 50ක) දඩයක් පනවා තිබේ. මෙය අමෙරිකානු ඩොලර් 18,000ක පමණ අතිවිශාල මුදලක් වන අතර, දක්ෂතා පෙන්වන විට මූල්‍යමය තෑගි පිරිනමන්නේ නම් අසාර්ථක වන විට දඬුවම් ද විඳිය යුතු බව පවසමින් PCB සභාපති මොහ්සින් නක්වි මෙම තීරණය ගෙන ඇත. විශේෂයෙන්ම ඉන්දියාව හමුවේ ලැබූ දරුණු පරාජය සහ සුපිරි 8 වටයේදී ප්‍රදර්ශනය කළ අතිශය දුර්වල ක්‍රීඩා විලාසය මෙම දඩයට මූලිකම හේතුව වී තිබේ. සහීබ්සාදා ෆර්හාන් වැනි ක්‍රීඩකයෙකු හුදකලා සටනක නිරත වෙමින් ලකුණු අතරට පැමිණියද, බාබර් අසාම් ඇතුළු ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් මුළු තරගාවලිය පුරාම ලකුණු 100 සීමාව පවා පසු කිරීමට අපොහොසත් වීම කැපී පෙනෙන පසුබෑමකි.
පාකිස්ථාන ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයන්ට පැනවූ දරුණුතම මූල්‍ය දඬුවම මෙය වන අතර, මෙම මුදල ක්‍රීඩකයන්ගේ මාසික වැටුපෙන් හෝ තරග ගාස්තුවලින් අය කර ගැනීමට නියමිතය. අඛණ්ඩව ICC තරගාවලි හතරකදී අවසන් පූර්ව වටයට පිවිසීමට අපොහොසත් වෙමින් පාකිස්ථාන කණ්ඩායම ලබා ඇති මෙම පරාජය හමුවේ කණ්ඩායමේ නායකත්වයේ සහ ව්‍යුහයේ දැවැන්ත වෙනස්කම් රැසක් ඉදිරි සති කිහිපය තුළ සිදුවනු ඇති බව දේශපාලන හා ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.














