සිම්බාබ්වේ වේග පන්දු යවන ක්‍රීඩක බ්ලෙසින් මුසරබානි (Blessing Muzarabani) සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම අතර දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පවතින දේශපාලනික නොසන්සුන්තාව හේතුවෙන් කොල්කටා කණ්ඩායමෙන් ඉවත් කළ මුස්තාෆිසුර් රහ්මාන් වෙනුවට මුසරබානිව ආදේශ කිරීමට KKR කළමනාකාරීත්වය ඊයේ (13) තීරණය කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම තීරණයට පාකිස්ථාන පාර්ශවයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත. ඊට ප්‍රධානතම හේතුව වන්නේ මුසරබානි මීට පෙර පාකිස්ථාන සුපර් ලීගයේ (PSL) 2026 තරගවාරය සඳහා ඉස්ලාමාබාද් යුනයිටඩ් (Islamabad United) කණ්ඩායම සමඟ ගිවිසුම්ගතව සිටීමයි. IPL සහ PSL තරගාවලි දෙකම මාර්තු සහ අප්‍රේල් මාසවලදී සමගාමීව පැවැත්වෙන බැවින්, මුසරබානි IPL තෝරාගැනීම නිසා ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට ඔහුගේ සේවය අහිමි වේ.
පවතින ගිවිසුම් කඩ කරමින් වෙනත් ලීගයක් සඳහා ක්‍රීඩකයා මුදා හැරීම සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) සිය අමනාපය පළ කර ඇති අතර, මේ සම්බන්ධයෙන් මුසරබානිට එරෙහිව නීතිමය පියවර ගැනීමට පවා ඔවුන් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නීතිමය ගැටලුව නිරාකරණය නොවුණහොත් මුසරබානිට මෙවර IPL තරගාවලියට සහභාගී වීමට ඇති අවස්ථාව අවහිර වීමේ අවදානමක් පවතී.














