මහජන බැංකුව (People’s Bank) සිය ඉතිහාසයේ ඉහළම මූල්‍ය කාර්යසාධනය වාර්තා කරමින්, 2025 දෙසැම්බර් 31න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 40.2ක බදු පසු ලාභයක් (PAT) උපයා ගැනීමට සමත්ව තිබේ. මීට අමතරව මහජන බැංකු සමූහයේ සමස්ත ඒකාබද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4ක ඓතිහාසික සන්ධිස්ථානය පසු කර ඇති බව එම බැංකුව නිල වශයෙන් නිවේදනය කළේය.
පසුගිය වසරේ ඇති වූ ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුව වැනි බාහිර අභියෝග මධ්‍යයේ වුවද, බැංකුව විසින් අනුගමනය කරන ලද විචක්ෂණශීලී අවදානම් කළමනාකරණ ක්‍රමවේද හේතුවෙන් මෙම විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වී ඇත. බැංකුවේ මෙහෙයුම් ආදායම 32.5%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 165.8ක් ලෙස සටහන් වූ අතර, ශුද්ධ පොලී ආදායම ද 32.8%ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 142.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2025 වසර අවසාන වන විට බැංකුවේ තැන්පතු පදනම රුපියල් ට්‍රිලියන 3.2ක් දක්වාත්, ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.7ක් දක්වාත් වර්ධනය වී ඇත.
මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, මෙම ජයග්‍රහණය බැංකුවේ මෙහෙයුම් පදනම ශක්තිමත් බවට කදිම සාක්ෂියක් වන අතර රජයේ ආර්ථික ප්‍රමුඛතාවයන් වෙනුවෙන් දායක වීමට ඉන් මහඟු පිටුවහලක් ලැබෙන බවයි. බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේ, සාම්ප්‍රදායික භූමිකාවට අමතරව පෞද්ගලික අංශයේ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සහ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ සිදු කළ ආයෝජන මෙම වාර්තාගත ලාභය ලබා ගැනීමට බෙහෙවින් බලපෑ බවයි. මේ වන විට මහජන බැංකුවේ ඩිජිටල් සේවා පාරිභෝගික සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා තිබීම ද විශේෂත්වයකි.














