විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් නිකුත් කර ඇති නව චක්‍රලේඛයක් මඟින් ශිෂ්‍ය නිදහස සහ අයිතිවාසිකම් බරපතල ලෙස කප්පාදු කිරීමට උත්සාහ කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසයි. ඊයේ (19) විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති අදීෂ නිදුකාන් ගමගේ මහතා මේ බව අවධාරණය කළේය.
ශිෂ්‍ය නායකයින් පෙන්වා දෙන්නේ මෙම නව රෙගුලාසි මඟින් සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලින් බාහිරව සිදු කරන කුසලතා වර්ධන සහ සංවිධානාත්මක ක්‍රියාවලීන් සඳහා දැඩි සීමාවන් පනවා ඇති බවයි. විශේෂයෙන්ම ශිෂ්‍යයෙකු විසින් සිදු කරනු ලබන ඕනෑම බාහිර කටයුත්තක් විශ්වවිද්‍යාල බලධාරියෙකු ඉදිරියේ පමණක් සිදු කළ යුතු බවට පනවා ඇති කොන්දේසිය ශිෂ්‍ය ප්‍රජාවගේ ස්වාධීනත්වය උල්ලංඝනය කිරීමක් ලෙස ඔවුන් හඳුන්වයි.
වර්තමාන රජය ද පසුගිය පාලන සමයන්හි ක්‍රියාත්මක වූ මර්දනකාරී පිළිවෙත් අනුගමනය කරමින් සිටින බවට ශිෂ්‍ය සංගමය මෙහිදී චෝදනා කළේය. අනුර කුමාර දිසානායක මහතාගේ පාලන යුගය තුළ ද ශිෂ්‍ය අයිතිවාසිකම් මෙලෙස කප්පාදු කරන්නේ නම්, ඊට එරෙහිව දැඩි ලෙස සටන් කරන බවත් මෙම චක්‍රලේඛය කිසිසේත් පිළිපැදීමට තමන් සූදානම් නැති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශිෂ්‍ය ප්‍රජාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් මෙම අත්තනෝමතික චක්‍රලේඛයට එරෙහිව ඉදිරියේදී දැඩි විරෝධතා ව්‍යාපාර දියත් කරන බව ද ශිෂ්‍ය සංගමය මෙහිදී අනතුරු ඇඟවීය.














