පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ තෙවන වසරේ සිසුවෙකු මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමකට එම විශ්වවිද්‍යාලයේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකු සහය වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. අත්අඩංගුවේ පසුවන සැකකාර සිසුවාගෙන් ලබාගත් ප්‍රකාශ මත මෙම තොරතුරු හෙළි වී ඇති අතර අදාළ සේවකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත. හෝකන්දර ප්‍රදේශයේ සිට මත්ද්‍රව්‍ය රැගෙන විත් නේවාසිකාගාර කාමරය තුළදී ඩිජිටල් තරාදි ආධාරයෙන් මත්ද්‍රව්‍ය පැකට් කිරීමට මෙම සිසුවා කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
විශ්වවිද්‍යාල විනයාරක්ෂක නිලධාරීන් විසින් සැකකාර සිසුවාගේ කාමරය පරීක්ෂා කිරීමේදී හෑෂ් (Hash) ග්‍රෑම් 85ක්, කුෂ් (Kush) ග්‍රෑම් 11ක්, මත්ද්‍රව්‍ය පැකට් 60ක් සහ රුපියල් 70,240ක මුදලක් සොයාගෙන ඇති අතර ඒවා වැඩිදුර විමර්ශන සඳහා පේරාදෙණිය පොලිසියට භාර දී තිබේ. මේ අතර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සිසුවා ඇතුළු එම කාමරයේ නේවාසිකව සිටි සිසුන් තිදෙනෙකුගේ සහ කාමරයට නිතර ආ ගිය තවත් සිසුවෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අහෝසි කිරීමට පියවර ගත් බව උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සඳහන් කළේය.














