පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ මත්ද්‍රව්‍ය පානය කරමින් සහ සෙසු සිසුන්ට ඒවා අලෙවි කරමින් සිටි බව කියන කලා පීඨයේ තෙවන වසරේ සිසුවෙකු විශ්වවිද්‍යාල විනයාරක්ෂක නිලධාරීන් සහ පොලිසිය එක්ව සිදුකළ වැටලීමකදී අද (08) අත්අඩංගුවට ගෙන තිබේ.
විශ්වවිද්‍යාලයේ සර් අයිවෝ ජෙනිංස් නේවාසිකාගාරයේදී අත්අඩංගුවට ගත් මෙම 24 හැවිරිදි සිසුවා හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සන්තකයේ තිබී හෑෂ් ග්‍රෑම් 85ක් සහ කුෂ් ග්‍රෑම් 11ක් සොයාගෙන ඇති අතර, ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 70,240ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත. පේරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














