පේරු රාජ්‍යයේ අන්තර්කාලීන ජනාධිපති ජෝස් ජෙරි (José Jerí) මහතාට එරෙහිව එරට කොංග්‍රසය විසින් ගෙන ආ දෝෂාභියෝගයක් වැඩි ඡන්දයෙන් සම්මත වීමත් සමඟ, මාස හතරක් වැනි කෙටි කාලයකින් ඔහුගේ පාලනය අවසන් වී තිබේ. ඊයේ (17) පැවති අසාමාන්‍ය ව්‍යවස්ථාදායක සැසිවාරයකදී පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 24ක් ලබා ගනිමින් ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට තීරණය විය.
ඩිනා බොලුආර්ටේගේ ඉවත් වීමෙන් පසු පසුගිය ඔක්තෝම්බර් මාසයේදී බලයට පත් වූ ජෙරි, වසර 10ක් තුළ පේරු රාජ්‍යය පාලනය කළ අටවන රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසයට එක්වේ. ජාතික මැතිවරණයට තවත් මාස දෙකක් පමණක් තිබියදී ඔහු මෙලෙස ඉවත් කර ඇත්තේ, ඔහුට එරෙහිව එල්ල වූ බරපතල දූෂණ චෝදනා කිහිපයක් හේතුවෙනි.
චීන ව්‍යාපාරිකයෙකු සමඟ රහසිගතව අවන්හලකදී හමුවීම සහ ඔහුගේ පෞද්ගලික කාර්යාලයේ පැවති සාකච්ඡාවලින් පසු සමීපතම කාන්තාවන් පිරිසකට රජයේ ලාභදායී කොන්ත්‍රාත්තු ලබා දීම වැනි චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබුණි. මෙම චෝදනා දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස ජෙරි හඳුන්වා දුන්නද, කොංග්‍රසය තීරණය කළේ රට මෙහෙයවීමට ඔහුට තවදුරටත් සුදුසුකමක් නොමැති බවයි. නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා පේරු කොංග්‍රසය අද (18) නැවත රැස්වීමට නියමිතය.













