උතුරු පේරු රාජ්‍යයේ වෙරළබඩ නගරයක් වන ටෘජිලෝ (Trujillo) හි පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 33 දෙනෙකු තුවාල ලබා තිබේ. සෙනසුරාදා අලුයම සිදුවූ මෙම පිපිරීමෙන් තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 16 සහ 17 පසුවන බාලවයස්කාර දරුවන් තිදෙනෙකු ද වන අතර, පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. තුවාල ලැබූ ඇතැම් පිරිසකගේ ශරීර කොටස් ඉවත් කිරීමට (Amputation) පවා සැත්කම් සිදු කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය එරට සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදු කරන ලද කප්පම් ලබා ගැනීමේ මෙහෙයුමක කොටසක් බවට සැක කෙරේ. ටෘජිලෝ නගරය තුළ පමණක් 2025 වසරේදී මෙවැනි පිපිරීම් 136ක් වාර්තා වී ඇති අතර, සමස්ත ලා ලිබර්ටාඩ් (La Libertad) කලාපය තුළ පිපිරීම් 286ක් සිදුව තිබේ. පේරු රාජ්‍යය තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ දූෂිත නීති රීති හේතුවෙන් අපරාධ කල්ලි මෙලෙස ප්‍රබල වී ඇති බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි. අප්‍රේල් 12 වැනිදා පැවැත්වීමට නියමිත එරට මීළඟ මහා මැතිවරණය හමුවේ ජනතාවගේ ප්‍රධානතම අවධානය යොමුව ඇත්තේ ද මෙම පවතින අනාරක්ෂිත බව සහ දූෂණය පිළිබඳවයි.














