අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) අද විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ඉරානය සමඟ ඇති කරගත් සති දෙකක සටන් විරාමය හරහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයට පෙන්නුම් කළේ සිය යුද ශක්තිය නොව මානුෂීය අනුකම්පාව බවයි. ඉරානයේ ප්‍රධාන මධ්‍යස්ථාන 2,000කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කර ගනිමින් ‘විනාශකාරී ප්‍රහාරයක්’ දියත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබූ බවත්, ප්‍රහාරයට මිනිත්තු කිහිපයකට පෙර ට්‍රම්ප් එය අත්හිටුවීමට තීරණය කළ බවත් ආරක්ෂක ලේකම්වරයා අනාවරණය කළේය. මිලියන සංඛ්‍යාත සිවිල් වැසියන්ගේ ජීවිත බේරා ගැනීම සහ ගෝලීය ආර්ථිකය කඩා වැටීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා මෙම දුෂ්කර එහෙත් මානුෂීය තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම තීරණයට පදනම වූයේ ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීමට සහ සෘජු සාකච්ඡා සඳහා පාකිස්ථානයට පැමිණීමට එකඟ වීම බව ද හෙග්සෙත් සඳහන් කළේය. “අපට අවශ්‍ය වුණේ ඉරානය විනාශ කරන්න නෙවෙයි, ඔවුන්ගේ තර්ජන නතර කරන්නයි. ඒ අරමුණ දැන් සාකච්ඡා මගින් ඉටු කර ගැනීමට මාවතක් විවෘත වී තිබෙනවා” යැයි ඔහු පවසා තිබේ. කෙසේ වෙතත්, මෙම සටන් විරාමය අමෙරිකාවේ පසුබැසීමක් ලෙස කිසිවෙකුත් වරදවා වටහා නොගත යුතු බවත්, ඉරානය පොරොන්දු කඩ කළහොත් ඕනෑම මොහොතක ප්‍රහාර දියත් කිරීමට අමෙරිකානු හමුදා සීරුවෙන් සිටින බවත් ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.
මෙම “අනුකම්පා සහගත තීරණය” (Decision of Mercy) හමුවේ ජාත්‍යන්තර ප්‍රජාවගේ පැසසුම ට්‍රම්ප් පාලනාධිකාරියට හිමි වෙමින් පවතින අතර, එය මැදපෙරදිග කලාපයේ ස්ථාවර සාමයක් උදාවීමට ඇති අවසන් අවස්ථාව විය හැකි බව විදේශ දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කරති. විශේෂයෙන්ම ඊශ්‍රායලය සහ අනෙකුත් මිත්‍ර රටවල් සමඟ පවතින සබඳතා පලුදු නොවන අයුරින් මෙම රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණය ඉදිරියට ගෙන යාම අමෙරිකාවේ මීළඟ අභියෝගය වනු ඇත.
තොරතුරු උපුටා ගැනීම: Fox News, reuter සහ CNN ඇසුරින්












