සිලිකන් වැලි (Silicon Valley) හි ප්‍රකට බිලියනපතියෙකු වන පීටර් තියෙල් (Peter Thiel) විසින් වතිකානුව ආසන්නයේ පවත්වනු ලබන “අන්ත ක්‍රිස්තු” පිළිබඳ දේශනා මාලාවක් හේතුවෙන් රෝමයේ කතෝලික ආයතන සහ විශ්වවිද්‍යාල දැඩි කැළඹීමකට පත්ව තිබේ. ලබන ඉරිදා සිට බදාදා දක්වා ඇරයුම් කළ පිරිසකට පමණක් විවෘත වන මෙම දේශනා මාලාවට සම්බන්ධ බවට මුලින් වාර්තා වූ කතෝලික විශ්වවිද්‍යාල මේ වන විට නිල වශයෙන් එම සබඳතා ප්‍රතික්ෂේප කර ඇත.
PayPal සහ Palantir සමාගම්වල සම නිර්මාතෘවරයා වන පීටර් තියෙල්, දශක ගණනාවක සිට බයිබලයේ සඳහන් “අන්ත ක්‍රිස්තු” සහ ලෝක විනාශය පිළිබඳ අනාවැකි සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන්නෙකි. විද්‍යාව, තාක්ෂණය සහ දේවධර්මය මුසු කරමින් ඔහු පවත්වන මෙම දේශනා මුලින් රෝමයේ පිහිටි පාප්වහන්සේගේ ‘අල්මා මැටර්’ (alma mater) ලෙස සැලකෙන Angelicum විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, ඒ පිළිබඳව ඉතාලි මාධ්‍ය තුළ දැඩි විවේචන එල්ල වීමත් සමඟ එම විශ්වවිද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය තම ආයතනික වැඩසටහනක් නොවන බවත් එය සිය පරිශ්‍රය තුළ නොපවත්වන බවත්ය.
එමෙන්ම වොෂින්ටනයේ පිහිටි ‘ඇමරිකාවේ කතෝලික විශ්වවිද්‍යාලය’ (CUA) ද මෙම උත්සවයට තමන්ගේ අනුග්‍රහයක් නොමැති බව පවසමින් එයින් ඈත්වී තිබේ. පීටර් තියෙල් යනු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්ගේ (JD Vance) සමීපතමයෙකු වන අතර, ඔහුගේ Palantir සමාගම ට්‍රම්ප් පරිපාලනයේ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ මෙහෙයුම් සඳහා දත්ත ලබා දෙමින් සහාය දක්වයි.
විද්‍යාත්මක හා තාක්ෂණික දෘෂ්ටිකෝණයකින් අන්ත ක්‍රිස්තු පිළිබඳ සංකල්පය විග්‍රහ කරන තියෙල්, වර්තමාන බටහිර ලෝකය මුහුණ දෙන අර්බුද හමුවේ මානව වර්ගයා සතු තේරීම් පිළිබඳව මෙම දේශනාවලදී අදහස් දැක්වීමට නියමිතය. කෙසේ වෙතත්, ලෝකයේ කතෝලික මූලස්ථානය අසලම මෙවැනි ආන්දෝලනාත්මක මාතෘකාවක් සාකච්ඡා කිරීම වතිකානුවේ මෙන්ම ඉතාලි සමාජයේ ද දැඩි කතාබහට ලක්ව ඇති කරුණක් වී ඇත.














