ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින දරුණු යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපයේ වෙසෙන දහස් සංඛ්‍යාත සුරතල් සතුන් පිරිසක් අතහැර දැමීමේ කණගාටුදායක තත්ත්වයක් උද්ගත වී තිබේ. විශේෂයෙන්ම ඩුබායි වැනි නගරවල වෙසෙන විදේශිකයන් සිය මව් රටවල් බලා කඩිනමින් පිටව යාමට උත්සාහ කිරීමේදී, තම සුරතල් සතුන් රැගෙන යාමට නොහැකි වීම නිසා ඔවුන්ව මහමග හෝ නිවෙස්වල අතහැර දමා යන බව වාර්තා වේ. සත්ත්ව සුභසාධන සංවිධාන පෙන්වා දෙන්නේ මෙම සතුන් යුද්ධයේ “සැඟවුණු වින්දිතයන්” බවට පත්ව ඇති බවයි.
පසුගිය මාර්තු 01 වැනිදා සිට මේ දක්වා බ්‍රිතාන්‍ය ජාතිකයන් 45,000ක් පමණ මැදපෙරදිග කලාපයෙන් ඉවත් වී ඇති අතර, හදිසි ඉවත් කිරීමේ ගුවන් ගමන් මගින් ඔවුන් පලා යාමේදී සුරතල් සතුන් පිළිබඳ අවධානය ගිලිහී ගොස් ඇත. RSPCA වැනි ජාත්‍යන්තර සත්ත්ව සුභසාධන ආයතන සඳහන් කරන්නේ මයික්‍රෝ චිප් (microchipped) පවා සවිකර ඇති, හොඳින් රැකබලා ගත් සතුන් පවා මෙලෙස අනාථ වී සිටින බවයි. අර්බුදකාරී අවස්ථාවකදී පවා සතුන් පිළිබඳ වගකීම අමතක නොකරන ලෙසත්, ඔවුන් වෙනුවෙන් නිසි සැලසුමක් සකස් කරන ලෙසත් එම සංවිධාන ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙලෙස අතහැර දමන සුරතල් සතුන්ගේ කුසගින්න නිවීම සඳහා ඩුබායි නගර සභාව විසින් නගරය පුරා කෘත්‍රිම බුද්ධියෙන් (AI) ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය ආහාර මධ්‍යස්ථාන 12ක් ස්ථාපනය කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතියට අනුව සුරතල් සතුන් අතහැර දැමීම නීතිවිරෝධී ක්‍රියාවක් වන අතර, එවැනි පුද්ගලයන්ට පවුම් දස දහස් ගණනින් දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇත. කෙසේ වුවද, පවතින යුදමය වාතාවරණය හමුවේ සත්ත්ව අනාථ නිවාස ද උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව ‘K9 Friends’ වැනි පුණ්‍යායතන පෙන්වා දෙයි.














