රටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ක්ෂේත්‍ර මට්ටමේ රාජකාරිවල නිරත වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. තමන් සඳහා විශේෂ ඉන්ධන කෝටාවක් වෙන් කර නොමැති වීම සහ පෝලිම්වල රස්තියාදු නොවී ප්‍රමුඛතාවක් මත ඉන්ධන ලබා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් සිය අත්‍යවශ්‍ය සේවාවන් අඩාල වී ඇති බව එම සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී තිබේ.
මෙම තත්ත්වය හමුවේ බෝවන රෝග විමර්ශනය, වෙළෙඳසල් පරීක්ෂාව සහ පාසල් සෞඛ්‍ය සේවා වැනි මහජනතාවට සෘජුවම බලපාන සේවාවන් නියමිත පරිදි ඉටු කිරීමට නොහැකි වීමේ අවදානමක් පවතින බව එම සංගමය අවධාරණය කරයි. මෙය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොවන බව පවසන ඔවුන්, ඉන්ධන ගැටලුව නිසා රාජකාරි අතපසු වන නිලධාරීන්ට එරෙහිව යම් දඬුවම් ක්‍රියාමාර්ග ගනු ලැබුවහොත් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමු වීමට සිදු වන බවට ද අනතුරු අඟවා ඇත.














