තෙවරක්ම මාස්ටර්ස් (Masters) ශූරතාව දිනාගත් ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ෆිල් මිකල්සන් (Phil Mickelson) සිය පවුලේ සාමාජිකයෙකුගේ සෞඛ්‍යමය ගැටලුවක් හේතුවෙන් මෙවර පැවැත්වෙන මාස්ටර්ස් තරගාවලියට සහභාගී නොවන බවත්, ඉදිරි කාලයේදී ගොල්ෆ් ක්‍රීඩාවෙන් දීර්ඝ විවේකයක් ගන්නා බවත් නිවේදනය කර තිබෙනවා. වර්ෂ 1991 දී ඔගස්ටා නැෂනල් (Augusta National) ක්‍රීඩාංගණයේදී සිය මංගල තරගයට ක්‍රීඩා කිරීමෙන් පසුව 55 හැවිරිදි මිකල්සන් මෙම සුවිශේෂී තරගාවලිය මඟහරින සිව්වන අවස්ථාව මෙය වනවා.
සිය ‘X’ (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් මිකල්සන් ප්‍රකාශ කළේ, තම පවුලේ පෞද්ගලික සෞඛ්‍යමය ගැටලුවකට මුහුණ දීමට සිදු වීම නිසා ලබන සතියේ පැවැත්වෙන මාස්ටර්ස් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වීම පිළිබඳව කණගාටු වන බවයි. එසේම ඔගස්ටා නැෂනල් ගොල්ෆ් සමාජයට තමන් සැමවිටම ඉහළ ගෞරවයක් දක්වන බවත්, එය වසරේ වඩාත්ම සුවිශේෂී සතියක් වන බැවින් තරගයට සහභාගී වන සැමට සුබ පතන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
ලබන අප්‍රේල් 09 වනදා සිට 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත මෙවර තරගාවලියට මිකල්සන් සහ සුපිරි ක්‍රීඩක ටයිගර් වුඩ්ස් (Tiger Woods) යන දෙදෙනාම සහභාගී නොවන අතර, එවැන්නක් සිදු වන්නේ 1994 වසරෙන් පසුව ප්‍රථම වතාවට වීම විශේෂත්වයක්. මීට පෙරද පෞද්ගලික හේතූන් මත මෙවර LIV Golf තරගාවලියේ මුල් තරග කිහිපයක්ම මඟහැර සිටි මිකල්සන් පසුගිය මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවති තරගයකින් යළි ක්‍රීඩා පිටියට අවතීර්ණ වුවද, මාස්ටර්ස් වැනි ප්‍රධාන තරගාවලියකට ඔහු ක්‍රීඩා කරයිද යන්න පිළිබඳව සැකයක් මතුව තිබුණා. ජැක් නික්ලෝස්, ටයිගර් වුඩ්ස් සහ ආර්නෝල්ඩ් පාමර්ට පමණක් දෙවැනි වෙමින් වැඩිම මාස්ටර්ස් ශූරතා දිනූ ක්‍රීඩකයින් අතර මිකල්සන් ඉදිරියෙන්ම සිටිනවා.














