මැදපෙරදිග පවතින අමෙරිකා-ඉරාන යුදමය වාතාවරණය හමුවේ තම රටේ බලශක්ති සුරක්ෂිතතාවයට එල්ල වී ඇති දැඩි තර්ජනය සැලකිල්ලට ගනිමින් පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් (Ferdinand Marcos Jr) මහතා ඊයේ (2026 මාර්තු 24) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ‘ජාතික බලශක්ති හදිසි අවස්ථාවක්’ (National Energy Emergency) ප්‍රකාශයට පත් කළේය. මෙවැනි පියවරක් ගත් ලොව ප්‍රථම රට පිලිපීනයයි. හෝමූස් සමුද්‍ර සන්ධිය වැසී යාම සහ ගෝලීය තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පිලිපීනයට අවශ්‍ය බොරතෙල් සැපයුම අඩාල වී ඇති බව ජනාධිපතිවරයා නිකුත් කළ 110 දරන විධායක නියෝගයේ (Executive Order 110) සඳහන් වේ. පිලිපීනය සිය තෙල් අවශ්‍යතාවයෙන් 98%ක්ම මැදපෙරදිගින් ආනයනය කරන අතර පෙබරවාරි 28 වනදා යුද්ධය ආරම්භ වූ දා සිට එරට ඉන්ධන මිල දෙගුණයකටත් වඩා ඉහළ ගොස් තිබේ.
ඉන්ධන ආහාර සහ ඖෂධ බෙදා හැරීම විධිමත් කිරීම සඳහා UPLIFT වැඩසටහන යටතේ විශේෂ කමිටුවක් පිහිටුවා ඇත. රජයට සෘජුවම ඉන්ධන මිලදී ගැනීමට සහ අවශ්‍ය නම් ඒ සඳහා අත්තිකාරම් ගෙවීම් කිරීමට බලය පවරා ඇත. බලශක්ති සංරක්ෂණය සඳහා රාජ්‍ය අංශයේ සේවකයින් වෙනුවෙන් සතියකට දින 4ක වැඩ සතියක් හඳුන්වා දී ඇති අතර ගුවන් ගමන් සීමා කිරීමේ හැකියාව පිළිබඳව ද අවධානය යොමු කර ඇත. විදුලි මිල පාලනය කිරීම සඳහා ස්වභාවික වායුව වෙනුවට තාවකාලිකව ගල්අඟුරු බලාගාර වැඩිපුර ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. පිලිපීන බලධාරීන් පවසන පරිදි එරට සතුව දැනට පවතින්නේ දින 45කට ප්‍රමාණවත් ඉන්ධන තොග පමණි. මේ අතර ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව පිලිපීනයේ ප්‍රවාහන වෘත්තීය සමිති (PISTON) හෙට (26) සහ අනිද්දා (27) දෙදින දැවැන්ත වැඩවර්ජනයක නිරත වීමට ද සූදානම් වේ.















