ඉරානයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් හටගෙන ඇති ජෙට් ඉන්ධන හිඟය හමුවේ, පිලිපීනයේ ගුවන් යානා ගොඩබිමට සීමා කිරීමේ (Grounding) “පැහැදිලි හැකියාවක්” පවතින බව එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් මහතා පවසයි. අඟහරුවාදා (24) පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ ඇතැම් රටවල් දැනටමත් පිලිපීන ගුවන් සේවාවලට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
මේ හේතුවෙන් ගුවන් යානාවලට තම ගමනාන්තය වෙත යාමට සහ ආපසු ඒමට අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ප්‍රමාණයම පිලිපීනයෙන්ම රැගෙන යාමට සිදු වී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය. විශේෂයෙන්ම දුර බැහැර ගමනාන්ත සඳහා පියාසර කරන (Long-haul) ගුවන් යානා සම්බන්ධයෙන් මෙය ඉතා බරපතළ ගැටලුවක් වනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය. ගුවන් ගමන් අත්හිටුවීම වැළැක්වීමට උත්සාහ කළද, පවතින තත්ත්වය අනුව එය නොවැලැක්විය හැකි තීරණයක් වීමේ අවදානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














