ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ලොව සුපතළ පින්නවල අලි අනාථාගාරය එළඹෙන පෙබරවාරි 16 වන දිනට සිය 51 වන සංවත්සරය සැමරීමට නියමිතයි. 1975 වසරේදී අනාථ වූ අලි පැටවුන් පස් දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම ආයතනය, අද වන විට ආසියානු අලි සංරක්ෂණය, අභිජනනය සහ පර්යේෂණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියට පත් මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා. වර්තමානය වන විට මෙහි පිරිමි අලි 27ක් සහ ගැහැණු අලි 38ක් ඇතුළුව අලි 65 දෙනෙකු ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සහ රැකවරණය යටතේ ජීවත් වන බවයි වාර්තා වන්නේ.
මෙම 51 වන සංවත්සරයට සමගාමීව සිදු කෙරෙන සුවිශේෂී කාර්යය වන්නේ නවීන සත්ව සුබසාධන සංකල්පයන්ට අනුකූලව ඉදිකළ “නිදහස් අලි අරණ” (Musth Elephant Enclosure) ජනතා අයිතියට පත් කිරීමයි. ලිංගික පරිණතභාවයට පත් පිරිමි අලි “මද” කිපෙන කාල සීමාවන් තුළ ඔවුන්ව වඩාත් ආරක්ෂිතව සහ නිදහසේ රඳවා තැබීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා. පින්නවල අලි අනාථාගාරයේ සමාරම්භක සාමාජිකාවන් වන කුමාරි, මාතලී සහ නිලා යන කෙනෙරන් තවමත් මෙහි ජීවත්වීම විශේෂත්වයක් වන අතර මාතලී කෙනෙර වර්තමානයේ අලි රංචුවේ නායිකාව ලෙස කටයුතු කරනවා. අතීතයේ සිට මේ දක්වා ස්වාභාවික අලි උපත් 76ක් සාර්ථකව සිදු කර ඇති පින්නවල අලි අනාථාගාරය, 2021 වසරේදී මෙරට ප්‍රථම නිවුන් අලි උපත වාර්තා කරමින් ඉතිහාසයට එක් වුණා. 51 වන සංවත්සර උත්සවය පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, එයට සමගාමීව අධ්‍යාපනික වැඩසටහන් සහ කාර්ය මණ්ඩල සුබසාධන කටයුතු රැසක් ද සංවිධානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල ශක්තියක් වන පින්නවල, අනාගතයේදී අලි ගහනය වනයෙන් වඳ වී ගියහොත් නැවත වනයට අලි හඳුන්වා දිය හැකි ආරක්ෂිත ගබඩාවක් ලෙස ද ක්‍රියා කරනවා.














