ඇමරිකා එක්සත් ජනපදයේ පිට්ස්බර්ග් (Pittsburgh) ජාත්‍යන්තර ගුවන් තොටුපළේ බලු පැටවෙකු අතහැර දමා යාමට උත්සාහ කළ පුද්ගලයෙකුට එරෙහිව එරට පොලිසිය නීතිමය පියවර ගෙන තිබේ. පසුගිය සිකුරාදා පස්වරු 5:00 ට පමණ ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තය අසල හිමිකරුවෙකු නොමැතිව බලු පැටවෙකු එහා මෙහා දුවමින් සිටින බවට ඇලෙගනි ප්‍රාන්ත පොලිස් දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇත.
පොලිස් නිලධාරීන් විසින් ආරක්ෂිතව රඳවා ගත් මෙම ලැබ්‍රඩෝ (Labrador) වර්ගයේ බලු පැටවා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, ටෙක්සාස් ප්‍රාන්තයේ පදිංචි 42 හැවිරිදි ඕමාර් පෙරෙස් (Omar Perez) නමැත්තා හඳුනා ගැනීමට හැකි විය. මුලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ උබර් (Uber) රියදුරෙකු විසින් මෙම සත්වයා දමා ගිය බව තමන් දුටු බවයි. කෙසේ වෙතත්, පසුව ඔහු පිළිගෙන ඇත්තේ එම බලු පැටවා සමඟ ගුවන් යානයෙන් ගමන් කිරීමට නොහැකි බව දැනගත් පසු සත්වයා එහිම අතහැර දැමූ බවයි.
ඕමාර් පෙරෙස් වෙත මේ වන විට සත්ව හිංසනය සහ සතුන් අතහැර දැමීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නඩු පවරා තිබේ. වාසනාවකට මෙන්, මෙම බලු පැටවා මේ වන විට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, සත්ව සුබසාධන මධ්‍යස්ථානයක් හරහා තාවකාලික ආරක්ෂිත නිවසක් (Foster home) වෙත යොමු කර ඇත. සතුන් කෙරෙහි දක්වන මෙවැනි වගකීම් විරහිත හැසිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි විවේචන එල්ල වෙමින් පවතී.












