රාජගිරිය, කලපලුවාව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හත් දෙනා ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය මහතා අද (18) නියෝග කළේය.
මෙදින සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණේ හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා වුවද, පහරකෑමට ලක්ව අගතියට පත් සාක්ෂිකරු රෝගී තත්ත්වයෙන් රෝහල්ගත කර සිටීම හේතුවෙන් පෙරට්ටුව පැවැත්වීමට නොහැකි විය. මේ හේතුවෙන් හඳුනාගැනීමේ පෙරට්ටුව එළඹෙන 20 වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.
මීට මාස තුනකට පමණ පෙර රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ අනතුරක් මුල් කරගනිමින්, අදාළ ත්‍රීරෝද රථ රියදුරුට පහරදුන් බවට මෙම පිරිසට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. වැලිකඩ පොලිසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ අචිනි උමයංගනා සහ නීතිඥ ඉමාශි සේනාධිර යන මහත්මීන් පෙනී සිටියහ.
නිරූපණ ශිල්පිනියකගේ පුත්‍රයෙකු සම්බන්ධ වී ඇති මෙම සිද්ධිය සමාජ මාධ්‍ය තුළ ද දැඩි අවධානයට ලක්ව ඇති අතර, නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවෙති.














