අභ්‍යවකාශ ලෝලීන්ට මෙතෙක් දක්නට ලැබුණු දුර්ලභ ග්‍රහලෝක පෙළගැස්මක් හෙවත් “ග්‍රහලෝක පෙළපාලියක්” (Planetary Parade) මේ දිනවල අහසේ දර්ශනය වෙමින් පවතී. මෙහිදී බුධ, සිකුරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක හයම රාත්‍රී අහසේ එකම රේඛාවක පිහිටා ඇති අයුරු දැකගත හැකිය. පෙබරවාරි 28 වැනිදා මෙම පෙළගැස්ම වඩාත් සමීපව දර්ශනය වුවද, පවතින කාලගුණික සහ භූගෝලීය තත්ත්වයන් අනුව මේ සති අන්තය දක්වාම මෙය නැරඹීමට අවස්ථාව පවතී.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙය හුදෙක් දෘශ්‍ය ප්‍රයෝගයක් පමණක් බවයි. ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරන විට ඒවා පෘථිවියේ සිට බලන අපට එකම රේඛාවක ඇති සේ පෙනුනද, සැබවින්ම ඒවා අභ්‍යවකාශයේ එකිනෙකට කිලෝමීටර් මිලියන ගණනක් ඈතින් පිහිටා ඇත. ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි පර්යේෂක ආචාර්ය ශ්‍යාම් බාලාජි පවසන පරිදි, මෙම පෙළගැස්ම නිසා පෘථිවියට කිසිදු ගුරුත්වාකර්ෂණ බලපෑමක් ඇති නොවන අතර මෙය තාරකා විද්‍යාත්මකව පුරෝකථනය කළ හැකි ජ්‍යාමිතික අහම්බයකි.
නිරීක්ෂණය කරන ආකාරය:
මෙම දුර්ලභ දර්ශනය නැරඹීම සඳහා හොඳම කාලය වන්නේ සූර්යයා බැස ගොස් මිනිත්තු 30ක පමණ කාලයයි. බටහිර අහස දෙස බැලීමේදී බ්‍රහස්පති සහ සිකුරු ඉතා දීප්තිමත්ව පියවි ඇසින් හඳුනාගත හැකි වනු ඇත. බුධ ග්‍රහයා ක්ෂිතිජයට ඉතා පහළින් පිහිටන බැවින් එය හඳුනා ගැනීම තරමක් අපහසු විය හැකිය. යුරේනස් සහ නෙප්චූන් පියවි ඇසට නොපෙනෙන තරම් දුරින් පිහිටන බැවින් ඒවා නැරඹීමට දුරදක්නයක් (Binoculars) හෝ දුරේක්ෂයක් (Telescope) අත්‍යවශ්‍ය වේ.
ලොව විවිධ නගරවලට මෙම දර්ශනය හොඳින්ම පෙනෙන දින වකවානු වෙනස් වේ. ඒ අනුව නිව්යෝර්ක් සහ ටෝකියෝ වැසියන්ට පෙබරවාරි 28 දාත්, ලන්ඩන් සහ මුම්බායි වැසියන්ට මාර්තු 1 දාත්, අයිස්ලන්තයේ රේක්ජවික් වැසියන්ට මාර්තු 2 දාත් මෙය වඩාත් පැහැදිලිව දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ සිටින තාරකා විද්‍යා ලෝලීන්ට ද පැහැදිලි කාලගුණයක් පවතින අවස්ථාවලදී බටහිර අහස නිරීක්ෂණය කිරීමෙන් මෙම අපූරු දසුන අත්විඳිය හැකිය.














