ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) නිල තනතුරු සහ උසස්වීම් ලබාදීමට පෙර, එහි සේවකයින්ගේ සුදුසුකම් නැවත පරීක්ෂා කිරීමට රජය තීරණය කර තිබේ. මෙම සත්‍යාපන ක්‍රියාවලිය හෙට (16) සිට ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය. මීට පෙර දේශපාලන බලපෑම් මත හෝ නිසි සුදුසුකම් නොමැතිව ලබා දී ඇති පත්වීම් සහ උසස්වීම් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.
මේ අතර, ලංගමය තුළ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ පවතින දැඩි හිඟය හේතුවෙන් දිනපතා බස් රථ 350 කට අධික සංඛ්‍යාවක් ධාවනය කිරීමට නොහැකි වී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය. මෙම ශ්‍රම හිඟය පොදු ප්‍රවාහන සේවාවට එල්ල කර ඇති බලපෑම අවම කිරීම සඳහා ඉදිරියේදී නව බඳවා ගැනීම් සිදු කිරීමට ද සැලසුම් කර තිබේ.














