තිරසාර ආයෝජන අවස්ථා පුළුල් කරමින්, විනිවිදභාවයකින් යුතු ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ පැවැති “CEO’s Pearl of the Indian Ocean: Sri Lanka” සැසිය අමතමින් ඇය කියා සිටියේ, රට මේ වන විට ස්ථාවර වෙමින් පවතින අතර ධනාත්මක ආර්ථික වර්ධනයක් ද අත්පත් කරගෙන ඇති බවයි. රටවල් 60කට අධික සංඛ්‍යාවක ගෝලීය ව්‍යාපාරිකයන් නියෝජනය කරන ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංවිධානයේ (CEO) සාමාජිකයන් හමුවේ ඇය මෙම අදහස් පළ කළාය.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ විභාග පසුපස යන ක්‍රමවේදය වෙනුවට කුසලතා පදනම් කරගත්, අනාගත ලෝකයට ගැළපෙන නම්‍යශීලී ශ්‍රම බලකායක් ගොඩනැගීමට රජය අධ්‍යාපන පද්ධතියේ ව්‍යුහාත්මක වෙනසක් සිදු කරමින් සිටින බවයි. වගවීම සහ දූෂණයෙන් තොර පාලනයක් සඳහා ජනතාව ලබාදුන් ජනවරම අනුව කටයුතු කරමින්, ආයෝජක විශ්වාසය ගොඩනැගීමට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නියාමන රාමු සකස් කර ඇති බවද ඇය සඳහන් කළාය.
එමෙන්ම ඛනිජ අපනයන, පුනර්ජනනීය බලශක්තිය, ඖෂධ නිෂ්පාදනය සහ නාවික මෙහෙයුම් වැනි අංශයන්හි පවතින ඉහළ ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ඇය ගෝලීය ව්‍යාපාරිකයන්ට ආරාධනා කළ අතර, ආපදා අවම කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා පද්ධති ශක්තිමත් කරමින් දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනැගීමට රජය කැපවී සිටින බවද පැවසුවාය. ශ්‍රී ලංකාව ඉන්දු-පැසිෆික් කලාපයේ උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස සලකා දිගුකාලීන ආයෝජන සඳහා එක්වන ලෙස ඇය වැඩිදුරටත් ඉල්ලා සිටි අතර මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.














