2027 වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන නායක හිමියන් බැහැදුටු අවස්ථාවේදීය.
නව පෙළපොත් මුද්‍රණ කටයුතු ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය. එමෙන්ම පළාත් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දැනටමත් සියලු පළාත් වෙත ලබා දී ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
එම ප්‍රතිපාදන නිසි ලෙස පාසල් සංවර්ධනය සඳහා යොදා ගන්නා ලෙසත්, පාසල්වල පවතින අඩුපාඩු සකස් කර ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පාසල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.
















