වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තීරණය කර තිබේ. අරලියගහ මන්දිරයේදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයන් සමඟ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ නිදහස සීමා කිරීමට රජය කිසිසේත් කටයුතු නොකරන බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී උපකුලපතිවරුන් සමඟ සාකච්ඡා කරන බවත් ඇය මෙහිදී අවධාරණය කළාය. සීමාවාසික පුහුණුව ලබාදීමේ පවතින ප්‍රමාදයන් මඟහැරවීම සඳහා රෝහල් පහක පහසුකම් පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ඉල්ලා ඇති බව ද මෙහිදී අනාවරණය විය.
වයඹ, කුරුණෑගල, කුලියාපිටිය, සබරගමුව සහ මොරටුව වැනි වෛද්‍ය පීඨවල පවතින නේවාසිකාගාර ගැටලු විසඳීම සඳහා දැනටමත් මුදල් වෙන්කර ඇති බවත්, ඉඩම් පැවරීමේ කටයුතු අවසන් වූ වහාම ඉදිකිරීම් ආරම්භ කරන බවත් අදාළ නිලධාරීහු පැවසූහ. මීට අමතරව කුරුණෑගල සහ කුලියාපිටිය පීඨවල සිසුන් මුහුණ දෙන ප්‍රවාහන ගැටලුවලට විසඳුම් ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය හරහා බස් රථ පහසුකම් සැලසීමට ද අවධානය යොමු විය.
පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීම නතර කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, වෛද්‍ය පීඨවල යටිතල පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛතාව ලබා දෙන බවත් සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් විය.














