වතු ආශ්‍රිත පාසල්වල සංවර්ධන කටයුතු සිදු කිරීමේදී දිස්ත්‍රික් සංවර්ධන කමිටු සමඟ සමීපව කටයුතු කරන ලෙසත්, ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී තවත් බඳවා ගැනීම් සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අද (19) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී ඇය අවධාරණය කළේ, වතු පාසල්වල යටිතල පහසුකම්, සනීපාරක්ෂාව, ඉඩම් තහවුරු කිරීම සහ ගමනාගමන ගැටලු සඳහා කඩිනම් විසඳුම් අවශ්‍ය බවයි. විශේෂයෙන්ම ‘දිත්වා’ සුළි කුණාටුවෙන් හානි වූ පාසල් නිසි ලෙස ස්ථානගත කිරීමේදී ස්ථානීය යෝග්‍යතාව පිළිබඳව දත්ත ලබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඇය නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
වතු ආශ්‍රිත පාසල් ද රජයේ පාසල් බවත්, ඒවා හැඳින්විය යුතු වඩාත් යෝග්‍ය නාමය පිළිබඳව ඉදිරියේදී අවධානය යොමු කරන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය. විද්‍යා, ගණිත සහ වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමේදී සිසුන් මුහුණ දෙන භාෂාමය බාධා ඉවත් කිරීමට පියවර ගන්නා බවත්, ඉදිරියේදී 23,000ක පිරිසක් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. මෙම අවස්ථාවට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය මධුර සෙනෙවිරත්න, සුන්දරලින්ගම් ප්‍රදීප් ඇතුළු පිරිසක් සහභාගී වූහ.














