කාන්තාවන් සහ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පවතින නීතිමය ක්‍රියාදාමයන් දැනට වඩා කාර්යක්ෂම සහ ශක්තිමත් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. මන්නාරම, අඩම්බල් ප්‍රදේශයේ ඊයේ (15) පැවති මන්නාරම් දිස්ත්‍රික් කාන්තා හමුව අමතමින් ඇය මේ බව සඳහන් කළාය. රටේ ජනගහනයෙන් 52%ක් වන කාන්තාවන් සතුව විශාල බලයක් පවතින නමුත් ප්‍රායෝගිකව එම බලය භාවිතා කිරීමට ඇති බාධාවන් ඉවත් කළ යුතු බවත්, ඒ සඳහා රජය විසින් ආරම්භ කළ වෙනස ඉදිරියට ගෙනයාමට කාන්තාවන් පෙරමුණ ගත යුතු බවත් අගමැතිනිය මෙහිදී අවධාරණය කළාය.
යුද්ධය සහ ජාතිවාදය හේතුවෙන් වැඩිපුරම පීඩාවට පත්වූයේ කාන්තාවන් බව පෙන්වා දුන් අගමැතිනිය, ඇතැම් දේශපාලන කණ්ඩායම් නැවතත් ජාතිවාදය අවුස්සා රට ආපස්සට ගෙන යාමට දරන උත්සාහයන්ට කිසිසේත්ම ඉඩ නොදෙන බව ප්‍රකාශ කළාය. මත්ද්‍රව්‍ය උවදුර නිසා පවුල් තුළ ඇති වී තිබෙන බිය සහ අසහනය තුරන් කිරීමට ජනාධිපතිවරයා සෘජු තීරණ ගෙන ඇති බවත්, මින් ඉදිරියට නීතියේ ආරක්ෂාව සහ සමානත්වය සෑම පුරවැසියෙකුටම එක ලෙස භුක්ති විඳිය හැකි පරිදි නීතිය ක්‍රියාත්මක කරන බවත් ඇය වැඩිදුරටත් කීය.














