ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (21) සෙනසුරාදා ඉරාන ජනාධිපති වෛද්‍ය මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) සමඟ දුරකථන සාකච්ඡාවක නිරත විය. ‘ඊද්’ (Eid) සහ ‘නවුරුස්’ (Nowruz) උත්සව වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීමට අමතරව, බටහිර ආසියාවේ (මැදපෙරදිග) පවතින උණුසුම් යුද වාතාවරණය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබේ.
කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් වෙමින් සහ ගෝලීය සැපයුම් දාමයන් අඩාල කරමින් කලාපයේ වැදගත් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර අග්‍රාමාත්‍ය මෝදි මෙහිදී දැඩි ලෙස හෙළා දුටුවේය. විශේෂයෙන්ම ගෝලීය වෙළෙඳාමට අත්‍යවශ්‍ය වන නාවික මාර්ගවල (Shipping Lanes) නිදහස සහ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම ඔහු යළිත් අවධාරණය කළේය. මැදපෙරදිග පවතින මෙම අර්බුදකාරී තත්ත්වය සාමකාමීව විසඳා ගැනීම කලාපයේ සෞභාග්‍යයට හේතු වනු ඇති බවට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී බලාපොරොත්තු පළ කර තිබේ.














