වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නව නීති හඳුන්වා දීමට පෝලන්ත රජය තීරණය කර ඇති බව එරට අධ්‍යාපන අමාත්‍ය බාබරා නොවැක්කා (Barbara Nowacka) ප්‍රකාශ කළාය. බ්ලූම්බර්ග් පුවත් සේවය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඇය සඳහන් කළේ, දරුවන්ගේ වයස තහවුරු කිරීමේ වගකීම අදාළ සමාජ මාධ්‍ය සමාගම් වෙත පැවරෙන අතර නීති කඩ කරන ආයතන සඳහා දැඩි දඩ මුදල් පැනවීමට ද සැලසුම් කර ඇති බවයි.
සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීම සහ බුද්ධිමය හැකියාවන් අඩුවීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී තිබේ. රජය විසින් මෙම පනත් කෙටුම්පතේ මූලික රාමුව අද (27) ඉදිරිපත් කිරීමට නියමිත අතර, එය 2027 වසරේ මුල් භාගය වන විට පූර්ණ ලෙස බලාත්මක කිරීමට අපේක්ෂිතය. මීට පෙර ඕස්ට්‍රේලියාව ද මෙවැනිම දැඩි නීති පද්ධතියක් හඳුන්වා දුන් අතර, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය වැනි රටවල් ද මෙවැනි සීමා පැනවීම පිළිබඳව මේ වන විට අවධානය යොමු කර ඇත.
මෙම නව නීතිමය පියවර හේතුවෙන් Meta සහ X (ට්විටර්) වැනි ප්‍රධාන ඇමෙරිකානු තාක්ෂණික සමාගම් සහ පෝලන්ත රජය අතර යම් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතී. කෙසේ වෙතත්, දරුවන් සබැඳි ලෝකයේ (Online) පවතින ඇබ්බැහිවීම් සහ අහිතකර බලපෑම්වලින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙවැනි දැඩි තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බව පෝලන්ත අධ්‍යාපන අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.















