පොල්ගහවෙල, හතළිස්පහුව ප්‍රදේශයේ පෞද්ගලික වත්තකට ගවයන් සොරකම් කිරීමේ අරමුණින් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු, එහි ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් විදුලි සැර වැදී මියගොස් තිබේ. ඊයේ (05) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 සහ 40 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
පොලිස් විමර්ශනවලට අනුව, සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගව සොරකම සඳහා මෙම වත්තට ඇතුළු වී ඇති අතර, එහි වගා කර තිබූ අන්නාසි සහ කෙසෙල් වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඇද තිබූ විදුලි රැහැනක මොවුන් ගැටී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ ඔවුන් සමඟ සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනා පලා ගොස් මියගිය අයගේ ඥාතීන් දැනුවත් කර ඇති අතර, පසුව ඥාතීන් විසින් ලබාදුන් තොරතුරු මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. පොල්ගහවෙල මහේස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබූ අතර පොල්ගහවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














