හික්කඩුව මුහුදු තීරයේ දිය නෑමට ගිය 26 හැවිරිදි රුසියානු ජාතික තරුණියක ඊයේ (24) සවස් කාලයේදී දියවැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී, එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් ඇයව ආරක්ෂිතව බේරාගෙන තිබේ. වෙරළෙන් ඔබ්බට ගසාගෙන යන තරුණිය දුටු සැණින් ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක ලක්මාල් ඇතුළු නිලධාරීන් පිරිසක් දැඩි පරිශ්‍රමයක් යොදා ඇයව නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට සමත්ව ඇත.
පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් මුහුදේ රළු ස්වභාවය සහ දියවැල් පිළිබඳව සංචාරකයින් දැනුවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණද, මෙම අනතුර සිදුව ඇත්තේ ක්ෂණිකව ඇති වූ දියවැලක් හේතුවෙනි. නිලධාරීන්ගේ කඩිනම් මැදිහත්වීම මත තරුණියගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම පිළිබඳව ප්‍රදේශවාසීන් සහ විදේශීය සංචාරකයින් සිය ප්‍රශංසාව පළ කර තිබේ. මෙම සාර්ථක ජීවිතාරක්ෂක මෙහෙයුම සඳහා පොලිස් පරීක්ෂක ලක්මාල්, පොලිස් කොස්තාපල් රත්නායක සහ පොලිස් කොස්තාපල් කුමාරසිංහ යන නිලධාරීන් දායක වී ඇත.`














