ජාත්‍යන්තර රතු නිවේදන (Red Notices) නොමැතිව වුවද, විදේශ රටවල සැඟව සිටි අපරාධකරුවන් 14 දෙනෙකු මේ දක්වා සාර්ථකව මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි. අද (27) දින මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් ‘පොඩි ලැසී’ ද එම පිරිසට ඇතුළත් වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව, 2024 වසරේ සිට මේ දක්වා කාලය තුළ රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවන් 29 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට පවතින රාජ්‍ය යාන්ත්‍රණය හරහා හැකි වී තිබේ. ජාත්‍යන්තර රතු නිවේදන නොමැති සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේදී පොලිස්පතිවරයාගේ ඍජු මැදිහත්වීම සහ අනෙකුත් රටවල් සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික විශ්වාසය මෙන්ම අදාළ රටවල ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම් වැනි කරුණු පදනම් කරගත් බව ඔහු අනාවරණය කළේය.
දැනට සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා ජාත්‍යන්තර රතු නිවේදන 89ක් ලබාගෙන ඇති අතර, 2026 වසරේදී එම සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට උපරිම උත්සාහයක් දරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.














