ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හන්ටර් කලාපයේ (Hunter Region) මෙම වසර මුලදී සිදුවූ මාරාන්තික රිය අනතුරක් සම්බන්ධයෙන් 66 හැවිරිදි රියදුරෙකුට පොලිසිය විසින් චෝදනා ගොනු කර තිබේ. 2026 ජනවාරි 17 වන සෙනසුරාදා රාත්‍රී 7.25 ට පමණ සැලමන්ඩර් බේ හි නෙල්සන් බේ පාරේදී (Nelson Bay Road) වාහන දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.
අනතුරින් Toyota Rav4 රථයේ රියදුරු ලෙස කටයුතු කළ 77 හැවිරිදි කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූවාය. එහි ගමන් ගත් තවත් තිදෙනෙකු සහ අනෙක් රථයේ (Subaru Forester) ගමන් කළ දෙදෙනෙකු බරපතල තුවාල ලබා ජෝන් හන්ටර් රෝහලට ඇතුළත් කෙරිණි. පෝර්ට් හන්ටර් ස්ටීවන්ස් (Port Hunter Stephens) පොලිස් දිස්ත්‍රික්කයේ නිලධාරීන් සහ අනතුරු විමර්ශන ඒකකය විසින් මාස කිහිපයක් පුරා පවත්වන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් 66 හැවිරිදි සුබාරු රථයේ රියදුරුට එරෙහිව මරණයක් සිදු කිරීම සම්බන්ධයෙන් වූ භයානක රිය පැදවීම, නොසලකා හැරීම නිසා මරණයක් සිදු කිරීම සහ බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා 13 ක් එල්ල කර තිබේ. සැකකරුට කොන්දේසි සහිත ඇප ලබා දී ඇති අතර, ලබන ජුනි 01 වනදා රේමන්ඩ් ටෙරස් (Raymond Terrace) මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත. ඔහුගේ රියදුරු බලපත්‍රය ද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිසිය පියවර ගෙන තිබේ.














