රුපියල් 5,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වාලච්චේන කෝරලයිපත්තු (මධ්‍යම) සහ පොළොන්නරුව (වැඩබලන) ක්වාසි විනිසුරුවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ පසුබිම් තොරතුරු මෙසේය. ඕට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි. පැමිණිලිකරුට එරෙහිව නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවක් අවලංගු කරගැනීම සඳහා අවශ්‍ය වන නඩත්තු නඩුවක සහතික කළ පිටපතක් ලබා දීම වෙනුවෙන් විනිසුරුවරයා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.
වාලච්චේන ප්‍රදේශයේ පිහිටි ක්වාසි අධිකරණ කාර්යාලයේදී අදාළ මුදල ලබාගන්නා අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් අතර අද දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය. විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන් අතර, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළේය.














