පුනරීන් පොලිස් වසමට අයත් සෙන්මන්කුන්ඩු ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් 37 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (21) සවස් කාලයේ මියගොස් තිබේ. මියගිය පුද්ගලයා සෙන්මන්කුන්ඩු ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, ඔහු විදුලි සැර වැදී පුනරීන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුනරීන් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මරණකරු විසින්ම සිය වගා භූමිය සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරයෙන් ඇද තිබූ විදුලි කම්බියක ඔහුම ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. වන සතුන් දඩයම් කිරීමට හෝ වගා ආරක්ෂාවට මෙලෙස අනවසරයෙන් විදුලි රැහැන් ඇදීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර, මෙවැනි අනතුරු පසුගිය කාලය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය. සිද්ධිය සම්බන්ධයෙන් පුනරීන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














