වර්තමාන ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්වහන්සේට ශ්‍රී ලංකාවේ නිල රාජ්‍ය සංචාරයක නිරත වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් නිල ආරාධනයක් සිදු කර තිබේ. දැනට ඉතාලියේ සංචාරයක නිරත වෙමින් සිටින ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මෙම ආරාධනය වතිකානය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (මාර්තු 02) වතිකානයේදී “රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම්” (Under-Secretary for Relations with States) මිහයිටා බ්ලාජ් (Mihăiță Blaj) පියතුමා හමු වී මෙම ආරාධනා පත්‍රය භාර දී ඇත. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ස්ථාවරත්වය සහ ආගමික සහජීවනය තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම ආරාධනය සිදු කර තිබේ.
ශ්‍රී ලංකාවේ කතෝලික සභාව සහ රජය අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා වත්මන් රජය ගෙන ඇති විනිවිදභාවයකින් යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී වතිකාන බලධාරීන් දැනුවත් කර ඇති බව වාර්තා වේ.
පාප්වහන්සේගේ මෙම විභව සංචාරය හරහා මෙරට සංචාරක කර්මාන්තයට සහ ජාත්‍යන්තර ප්‍රතිරූපයට විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.














