ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එල්ල කරන ලද සෘජු ප්‍රහාරාත්මක විවේචන නොතකා, තමන් දිගටම යුද්ධයට එරෙහිව හඬ නඟන බව 14 වන ලියෝ පාප් වහන්සේ (Pope Leo XIV) ප්‍රකාශ කළහ. ඇල්ජීරියාව ඇතුළු අප්‍රිකානු රටවල් හතරක දස දින සංචාරයක් ආරම්භ කරමින් පාප් වහන්සේ ගමන් ගන්නා ගුවන් යානය තුළදී රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ. ක්‍රිස්තියානි පණිවිඩය සහ ශුද්ධ වූ බයිබලයේ ඉගැන්වීම් ඇතැම් පුද්ගලයන් විසින් වැරදි ලෙස භාවිත කරමින් (Abuse) ඇති බව ද උන්වහන්සේ එහිදී පෙන්වා දුන්හ.
චිකාගෝ නුවර උපත ලැබූ, පළමු ඇමෙරිකානු පාප් වහන්සේ වන ලියෝ පාප් වහන්සේ මෑත සති කිහිපය තුළ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය දැඩි ලෙස විවේචනය කළහ. “මා මාගේ භූමිකාව දේශපාලනික එකක් ලෙස දකින්නේ නැහැ. නමුත් ශුද්ධ වූ බයිබලයේ පණිවිඩය වන්නේ සාමය ඇති කරන්නන් භාග්‍යවන්තයන් බවයි. ලෝකයේ අද බොහෝ අහිංසක මිනිසුන් මිය යනවා, යමෙකු නැගී සිට මෙයට වඩා හොඳ මාවතක් පවතින බව පැවසිය යුතුයි,” යනුවෙන් උන්වහන්සේ අවධාරණය කළහ. රාජ්‍යයන් අතර සාකච්ඡා සහ බහුපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කරමින් යුක්ති සහගත විසඳුම් සෙවීම සඳහා තමන් අඛණ්ඩව පෙනී සිටින බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.














