මැදපෙරදිග කලාපය තුළ පවතින දරුණු යුදමය වාතාවරණය වහාම සමනය කර, සාමය ස්ථාපිත කිරීම සඳහා සංවාදයේ මාවත විවෘත කරන ලෙස 14 වැනි ලියෝ පාප් වහන්සේ ලෝක ප්‍රජාවගෙන් සහ වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරති. වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති ඉරිදා (15) දේව මෙහෙය සහ ඇන්ජලස් යාච්ඤාව අවසානයේ බැතිමතුන් අමතමින් උන්වහන්සේ මෙම විශේෂ ප්‍රකාශය සිදු කළහ.
ප්‍රචණ්ඩත්වය මගින් කිසිලෙසකත් යුක්තිය හෝ ස්ථාවරත්වය ළඟා කරගත නොහැකි බව අවධාරණය කළ පාප් වහන්සේ, වහාම සටන් නවත්වා සාමකාමී විසඳුම් කරා එළඹීමේ අවශ්‍යතාව පෙන්වා දුන්හ. විශේෂයෙන්ම පාසල්, රෝහල් සහ සිවිල් ජනාවාස ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාර හේතුවෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කළ උන්වහන්සේ, ලෙබනනය තුළ උග්‍ර වෙමින් පවතින මානුෂීය අර්බුදය පිළිබඳව ද සිය දැඩි කනස්සල්ල පළ කළහ.
දකුණු ලෙබනනයේ වසන කිතුනු ප්‍රජාව ඇතුළු සමස්ත පීඩිත ජනතාව මුහුණ දෙන දුක්ඛිත තත්ත්වය වතිකානයේ සෘජු අවධානයට ලක්ව ඇති බවත්, යුද්ධයේ බලපෑමෙන් පීඩා විඳින සියලු දෙනා වෙනුවෙන් තමන් වහන්සේ නිරන්තරයෙන් යාච්ඤා කරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.














