පිළියන්දල ප්‍රදේශයේ ලැගුම්හලක සිදුකළ වැටලීමකදී කොකේන් මත්ද්‍රව්‍ය සහ ගංජා මිශ්‍ර මත්ද්‍රව්‍ය (Chips) සමඟ ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මත්තේගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන පරිදි අත්අඩංගුවට ගත් පිරිස අතර අනුරාධපුර සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචි අවුරුදු 26 සහ 28 වයස්වල පසුවන තරුණයින් තිදෙනෙකු සිටිති.
මත්තේගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද රහස් තොරතුරක් මත පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි බෝඩිම් කාමරයක් පරීක්ෂා කිරීමේදී කොකේන් මිලිග්‍රෑම් 10ක් හමුවී ඇති අතර, අනතුරුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී සැකකරුවෙකුගේ නිවසේ තිබී ගංජා මිශ්‍ර මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255ක් ද සොයාගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කූරියර් සේවාවක් (Courier Service) හරහා කොළඹ සිට අනුරාධපුරය දක්වා ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බව මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (17) කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














