කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව පරිපාලන ගොඩනැගිල්ල හෙවත් සමුද්‍රීය පහසුකම් මධ්‍යස්ථානයේ (Maritime Facilitation Centre – MFC) ඉදිකිරීම් කටයුතු මෙම වසර තුළ අවසන් කිරීමට පියවර ගන්නා බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (26) දින එම ඉදිකිරීම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
කොළඹ කොටුව කැනල් අංගන පරිශ්‍රයේ ඉදිකෙරෙන මෙම නව පරිපාලන සංකීර්ණය රුවල් නැවක ආකෘතියට අනුව නිර්මාණය කර ඇති අතර එය මහල් 19කින් සහ වර්ග මීටර් 35,000ක මුළු වර්ග ප්‍රමාණයකින් සමන්විත වේ. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය ආධාර මත රුපියල් බිලියන 5ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 2ක වියදමින් ඉදිවන මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු මේ වන විට 75%කින් පමණ අවසන් වී තිබේ. 2021 වසරේදී ආරම්භ වූ මෙම ඉදිකිරීම් කොවිඩ් වසංගතය සහ රටේ පැවති ආර්ථික අර්බුදය හමුවේ යම් ප්‍රමාදයකට ලක්වුවද, දැන් එය කඩිනමින් අවසන් කිරීමට උපදෙස් දී ඇත.
මෙම නව ගොඩනැගිල්ල ස්ථාපිත කිරීමත් සමඟ වරාය අධිකාරියේ අංශ 24ක සේවකයන් 1,600කට ආසන්න පිරිසකට පහසුකම් සැලසෙන අතර රේගු මූලස්ථානය සහ වාණිජ බැංකු ආසන්නයේ මෙය පිහිටීම නිසා සමුද්‍රීය සේවා ලාභීන්ට සියලු සේවාවන් එක් ස්ථානයකින් ලබාගැනීමේ හැකියාව උදාවේ. මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.














