කොළඹ වරායෙන් අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඉල්ලා අස්වී තිබේ. අද (18) පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව කරුණු දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමා දැනට දරන අමාත්‍ය ධුරය සහ විමර්ශනයට අදාළ ආයතන අතර පවතින සබඳතාවය හේතුවෙන් “ලැදියා ගැටුමක්” (Conflict of Interest) ඇතිවීම වැළැක්වීමට මෙම පියවර ගත් බවයි.
මෙම විමර්ශනයට අදාළ බහාලුම් නිදහස් කිරීම සිදු වී ඇත්තේ කරුණාතිලක මහතා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදීය. කෙසේ වෙතත්, වර්තමානයේ ඔහු වරාය විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බැවින්, විමර්ශනයට අදාළ ආයතන කමිටුව ඉදිරියට කැඳවීමේදී ඔහු එහි සාමාජිකයෙකු ලෙස සිටීම සදාචාරාත්මක නොවන බවට විපක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම විරෝධය පළ කර තිබුණි.
සමගි ජන බලවේගයේ මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා සභාවේදී කියා සිටියේ අමාත්‍යවරයා ඉල්ලා අස්වූයේ විපක්ෂය කළ දැඩි බලපෑම සහ ඉල්ලීම මත බවයි. නමුත් අමාත්‍ය කරුණාතිලක මහතා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් අවධාරණය කළේ මෙය කිසිදු පාර්ශවයක බලපෑමක් මත නොව, තමාගේම ස්වකීය කැමැත්ත මත ගත් තීරණයක් බවයි.
මෙම ඉල්ලා අස්වීමත් සමඟ බහාලුම් නිදහස් කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන වඩාත් ස්වාධීනව සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ අපේක්ෂා කරති. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් මෙම සිද්ධියට අදාළ නිර්දේශ සහ වාර්තාව ඉදිරියේදී සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.














